තායිලන්ත රජතුමා වන භූමිභෝල් අදුල්යාදේජ් රජු පසුගියදා අභාවප්‍රාප්ත විය. තායිලන්තයේ ‘ සිරිරාජ් ‘ රෝහලේ දී එතුමා මිය යන විට 88 වන වියේ පසුවූ අතර 70 වසරක් රජ කිරුළේ කටයුතු කර ඇත. තායිලන්ත ජනතාවගේ ඉමහත් භක්ත්‍යාදරයට ලක්ව සිටි එතුමා කලක සිට තද බල ලෙස රෝගීව සිටි අතර මහජන හමු කිහිපයකට පමණක් පෙනී සිට ඇත.
තායිලන්තය වසර 70 ක් පාලනය කළ භූමිභෝල් රජුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම හා එතුමන්ට ගෞරව දැක්වීම සදහා තායිලන්තයේ ක්‍රියාත්මක වන සියළු රූපවාහිනී නාලිකා වල ප්‍රචාරයන් වලින් වර්ණ ඉවත් කර ඇති අතර සියළු වැඩ සටහන් කළු-සුදු වැඩ සටහන් ලෙස විකාශය කරනු ලබයි. තම සුපුරුදු වැඩ සටහන් නවතා රජු පිළිබද විශේෂ වැඩ සටහන් ප්‍රචාරය කළ සියළු නාලිකා දැන් තම සුපුරුදු වැඩ සටහන් ප්‍රචාරය කළද මේ දිනවල නියමිතව තිබූ නැටුම්, සංගීත, සටන් දර්ශන හා විනෝදාත්මක සියළු වැඩ සටහන් තාවකාලිකව අත් හිටුවා ඇත.